අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසුවේ ශ්‍රී ලංකාව තුළ යම් පුද්ගලයෙක් සේවයේ යෙදවීමේ හැකි අවම වයස අවුරුදු 18 දක්වා ඉහළ දැමීමට රජය කටයුතු කරන බවයි. ඊට අදාළ නීති ඉදිරි මාස තුනක් ඇතුළත බලාත්මක කරන බවද ඔහු වැඩිදුරටත් පවසා සිටියා.
ඒ සඳහා ස්ත්‍රීන්, තරුණයන් හා ළමයින් සේවයේ යෙදවීමේ පනත යටතේ හඳුන්වාදීමට නියමිත නියෝග මගින් අන්තරායකර රැකියා ලැයිස්තු සංශෝධනය කිරීමට අවශ්‍ය නියෝග නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව විසින් දැනටමත් සකස්කර තිබේ. එසේම වසර 100කට වඩා පැරණි ගෘහසේවක ප්‍රජාවට අදාළ නීති රීති ද වෙනස්කරමින්, ඔවුන්ගේ සුභසාධනය සඳහා නව නීති රීති ගෙන ඒමට කටයුතු කෙරේ.
කම්කරු දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුව, අධිකරණ අමාත්යංශය, ළමා හා කාන්තා කාර්යාංශය, ජාත්‍යන්තර කම්කරු සංවිධානය සහ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් අද පැවති සාකච්ඡාවකදී එම කරුණු හෙළිවිය.
ළමයින් සේවයේ යෙදවීම සහ ගෘහස්ථ සේවකයන්ගේ අයිතිවාසිකම් පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ බවත් එහිදී, යම් පුද්ගලයෙක් නිවසක සේවයේ යොදවා ගන්නේ නම් ඒ පිළිබඳව තොරතුරු සේවායෝජකයා විසින් දිස්ත්‍රික් කම්කරු නිලධාරියා හමුවේ ලියාපදිංචි කළයුතු බවත්, ජාතික අවම වැටුප් පනතට ගෘහස්ථ සේවක සේවිකාවන් ඇතුළත් කිරීම, එම ගෘහ සේවක සේවිකාවන් ආවරණය වන පරිදි සේවක අර්ථසාධක අරමුදල් සහ සේවා නියුක්තියන්ගේ භාර අරමුදල් පනත් සංශෝධනය කිරීමට ද මෙහිදී තීරණය කෙරිණ.
78 total views, 2 views today