සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගෙන තිබෙන තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී ඩයනා ගමගේ මහත්මිය විසින් ඉදිරිපත් කළ පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.
එම පෙත්සම අද ප්‍රීති පද්මන් සූරසේන, ගාමිණි අමරසේකර සහ ශිරාන් ගුණරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය. ඒ අනුව පෙත්සමට අදාළ විරෝධතා තිබේ නම් ඒවා දෙසැම්බර් මස 13 වනදා ට පෙර ගොනුකරන ලෙස එහි වගඋත්තරකරුවන්ට අධිකරණය නියෝග කළේය.
අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස සමගි ජන බලවේගය මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, සභාපති සජිත් ප්‍රේමදාස, පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මැතිවරණ කොමිසමේ සභාපති නිහාල් ජී පුංචිහේවා සහා එම කොමිසමේ සාමාජිකයන් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ඇතුළු එකොළොස් දෙනකු නම් කර තිබේ.
පෙත්සම්කාරිය කියා සිටින්නේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසිවන සංශෝධනය සම්මත කරන අවස්ථාවේදී ඊට පක්ෂව ඡන්දය භාවිත කළේ යැයි චෝදනා කරමින් තම පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට වගඋත්තරකරුවන් කටයුතු කර ඇති බවය. සිය මන්ත්‍රී ධුරය අහිමි කිරීමට පෙර සාධාරණ විනය පරීක්ෂණයක් ලබා දීමට වග උත්තරකරුවන් ක්‍රියා නොකළ බව චෝදනා කරන පෙත්සම්කාරිය මේ තුළින් ස්වභාවික යුක්ති ධර්මය නැමැති වී නීතිමය මූලධර්මය උල්ලංඝනය කර ඇති බවද චෝදනා කළේය.
ඒ අනුව සිය පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගෙන තිබෙන තීරණය නීතිය ඉදිරියේ බලරහිත බවට තීන්දුවක් ලබාදෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ. source-derana
104 total views, 8 views today