හරි දේ කිරීම විශාල අභියෝගයක් බවත්, ඊට එක්ව මුහුණදී ඉදිරියට යාමෙන් අපේක්ෂිත අරමුණු ජයග්‍රහණය කළ හැකි බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි. ගොවිජන සේවා නිලධාරීන් සමග ඊයේ (21) පස්වරුවේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා ඒ බව පැවසීය.
ගොවීන් මුහුණදෙන අපහසුතාවලට විසඳුම්දීමෙන් අපේක්ෂිත අරමුණු කරා ගමන් කළ හැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එහිදී ගොවීන් හමුවට ගොස් කරුණු පැහැදිලි කරදීම ඉතා වැදගත් බව සඳහන් කළේය. පරිසරයත්, මහජන සෞඛ්‍යාරක්ෂාවත් රැක ගනිමින් වැඩි ආදායමක් ගොවියා අතට පත් කිරීම රජයේ ප්‍රමුඛ අපේක්ෂාව බවද එහිදී පෙන්වා දී තිබේ.
හරිත කෘෂිකර්මාන්තයේ ඉලක්කය එක් කන්නයකට, දෙකකට පමණක් නොව පරම්පරා ගණනකට සෙත සැලසීම බවද ජනාධිපතිවරයා එහිදී පවසා ඇත. ගොවීන් මුහුණදෙන ප්‍රධාන ගැටලු හඳුනාගෙන ඒ පිළිබඳ රජය දැනුවත් කිරීම නිලධාරීන්ගේ වගකීම බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, එවිට එම ගැටලු විසදීමේදී විශේෂඥ සහාය ලබාගැනීමේ හැකියාව උදා වන බව සඳහන් කළේය.
වැරදි දෙයක් කරන්නැයි තමා කිසිවිටෙක කිසිවෙකුගෙන් ඉල්ලා සිටින්නේ නැතැයි ද ජනාධිපතිවරයා නිලධාරීන් හමුවේ අවධාරණය කළේය. හරිත කෘෂිකර්මාන්තයට අවතීරණවීම නිසා වගා කෙරෙන භූමි ප්‍රමාණයේ අඩුවකට ඉඩ තැබිය නොහැකි බවද ජනාධිපතිවරයා පෙන්වා දුනි. කාබනික පොහොර භාවිතය සමග ඉදිරියට යාමට ගොවීන් දිරිගැන්වීම රට වෙනුවෙන් සියලුදෙනාගේ වගකීමක් බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය පෙන්වා දෙන්නේ, ලෝකයේ පිළිගත් ඉහළම පරිසර හිතකාමී පොහොර ගොවියා අතට පත් කිරීම සඳහා නයිට්‍රජන් පෝෂක සහිත දියර නයිට්‍රජන් ගෙන්වීමට රජය පියවර ගත් බවය.
එහි වැඩිදුරටත් දැක්වෙන්නේ,
“නැනෝ තාක්ෂණය භාවිත කරමින් නිෂ්පාදනය කර ඇති මෙම දියර පොහොරවල ඇති නයිට්‍රජන් සංඝටක ශාඛ පත්‍ර මගින් සෘජුවම අවශෝෂණය කර ගනී. එම දියර නයිට්‍රජන් ඉදිරියේ දී සියලු ගොවීන්ට ලබාදීමට රජය කටයුතු කරනබව ජනාධිපතිතුමා සඳහන් කළේය.”
“අස්වැන්න අඩුවීම පිළිබඳ ගොවීන් තුළ අනිසි බියක් මතුව ඇති අතර නිසි කලට පොහොර ගොවීන් අතට පත් කිරීමෙන් සහ නිවැරදි දැනුවත් කිරීමෙන් ගොවීන් තුළ වන බිය සහ පසුබෑම සමනය කරගත හැකි බව පැවසූ ගොවිජන සේවා නිලධාරීහූ ගොවීන් නිෂ්පාදනය කරන කාබනික පොහොරවල ගුණාත්මකභාවය සහ ප්‍රමිතිය පරීක්ෂා කිරීමේ පහසුකම් ප්‍රමාණවත් නොවන බැවින් එම පහසුකම් පුළුල් කරදෙන ලෙස ද ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියහ.”
“රජය විසින් ගොවීන්ට ලබාදී ඇති දිරිදීමනා, මූලික ගෙවීම් මේ වනවිට නිදහස් කරමින් තිබේ. ඉදිරි කන්නවලදී කාබනික පොහොර නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය සපයා ගැනීම සඳහා සැලසුම් සකස් කරමින් සිටින බවද නිලධාරීහු සඳහන් කළහ.”
source-derana
42 total views, 2 views today